පාසැල් නීති

“ඔයාට මතකද අර මාත් එක්ක ඉස්කෝලේ ගිය වයලට්? අපෙ වෙඩින් එකටත් ආවා”

“අපෙ වෙඩින්? අවුරුදු සීයකට ඉස්සර දේ මට මතක නෑ…”

“නාකි බව මං දන්නවා… වයලට් තමා සාරියේ අයි ස්ක්රීම් හලා ගත්තේ!”

“හා… අර කන්නඩි දාපු කෙට්ටු කෙල්ල?”

“අන්න හරි! වයලට් මට අද කෝල් කරා එයාගෙ පුතා ගැන. මම දන්නෙත් නෑ ඒ පොඩි එකා මගෙ පංතියේ කියලා…”

“ඉතින්?”

මට තේරුනා කතාව එතනින් ඉවර නෑ කියලා.

“ප්රබාත් පෙරේරා, වයලට්ගෙ පුතා, ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කරලා සති තුනකට!”

අපි දවසේ වැඩ ඉවරවෙලා තේ බොන වෙලාව. නිලංත තවම ඇවිත් නැතිනිසා අපි තුන්දෙනා විතරයි අද.

“මොකද කොල්ලා කරලා තියෙන්නේ? ඕන ඔට්ටුවක් හොරෙන් සිගරට් බීලා!”

සිරිනිගෙ මේ කතාවට කමලා ගැස්සිලා දුව දිහා බැලුවා..

“රිනී කොහොමද දන්නේ?”

අපෙ දුව හයියෙන් හිනාවුනා.

“ඕනම ඉස්කෝලෙක, ඕනම කොල්ලෙක් සස්පෙන්ඩ් කරන්නේ සිගරට් බීලා! මං හිතුවේ අම්මා දන්නවා ඇති කියලා ඉස්කෝල නීති වල හැටි!”

මටත් හිනා ගියා සිරිනිගෙ කතාවට. නමුත් කමලා හිනා නොවුන නිසා මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.

“ඉතින් මොකද වයලට් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ?”

“වයලට් කියන්නේ ප්රබාත් එක්ක තරහ ළමයි කන්ඩායමක් ප්රින්සිපල්ට බොරු පෙත්සමක් ගහලා තියෙන්නේ කියලා…”

“එහෙම කියන්න සාක්කි තියෙනවද? මං කියන්නේ කොල්ලා ඇත්තටම සිගරට් බිව්වෙ නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්ද?”

සිරිනී මගෙ ප්රශ්නෙට විරුද්ධ වුනා.

“නෑ අප්පච්චී… හරි ප්රශ්නේ කොල්ලා ඇත්තට සිගරට් බිව්වද කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියන එක. කවුරුත් පෙත්සමක් ගැහුවොත් මම සිගරට් බිව්වා කියලා, ඒ අය නේද ඒක ඔප්පු කරන්න ඕන?”

“පොතේ විදිහට… ඒ කියන්නේ අපෙ රටේ නීති අනුව ඒක හරි. නමුත් ඉස්කෝලවල විනය ටිකක් වෙනස්, මං හිතන්නේ…කමලා මොකද කියන්නේ?”

“අප්පච්චිගෙ කතාවත් හරි දුව… ඉස්කෝල ඇතුළේ නීති ටිකක් තදයි… එක එක හේතු නිසා. අනික් අතට… මට හිතාගන්න අමාරුයි ප්රබාත් හොරෙන් සිගරට් බොන කොල්ලෙක් කියලා!’

සිරිනී ආයෙත් හිනාවුනා.

“ඕන කෙනෙක් හොරෙන් සිගරට් බොන්න පුළුවන් අම්මා… පංතියේ කොයි තරම් හොඳට හැසිරුනත්. අනික ඉස්කෝලෙන් පිටතදී වෙන දේ ඉස්කෝලෙට වැඩක් නෑ…”

කමලයි මමයි දෙන්නම පරෙස්සම් වුනා පාසැලේ අන්තිම වසරේ සිසුවියක් හැටියට එයත් හොරෙන් සිගරට් බිව්වද කියලා දුවගෙන් අහන්නෙ නැතුව ඉන්න. දුවට තේරුනා අපේ නිහඬෙන් නොඇසූ ප්රශ්නය.

“මම හොරෙන් සිගරට් බොන්නෙ නෑ - ආයෙ ඒක ගැන හිත හිතා ඉන්න ඕන නෑ. හැබැයි වටිනවා ඔය පෙත්සම ලියපු අයගෙන් වෙන වෙනම අහන්න කොහෙදිද, කීයටද කොල්ලා සිගරට් බොනවා දැක්කේ කියලා. හොර පෙත්සම් ගහන ජාතියේ මෝඩයෝ හැම පොඩි විස්තරයක්ම ගැන එකඟ වෙලා නෙවෙයි ඒවා ලියන්නේ… නෑ… මම හොරෙන් පෙත්සම් ගහන්නෙත් නෑ!... මං පොඩි වෝක් එකක් ගියාට කමක් නැද්ද රෑ වෙන්න ඉස්සර? – යන්නේ සිගරට් බොන්න නෙවෙයි!”

සිරිනී හිනාවෙලා, හිස් කෝප්පත් එකතුකරගෙන කුස්සිය පැත්තට ගියා.

මට ආඩම්බරයක් දැනුනා දුවගෙ පැහැදිලි සිතිවිලි ගැන. සිරිනී කාමරෙන් පිටවුනාට පස්සේ මම කමලට කතා කරේ හෙමින්.

“මේකී ලෝ කරානම් නඩුකාරයෙකුටවත් බේරිලා ඉන්න බැරිවෙයි! … ඉතින් ඔයා මොකද කරන්න යන්නේ?”

“ප්රින්සිපල්ට කතා කරලා ඩීටේල්ස් ටිකක් ඉල්ල ගන්නවා… හෙට බදාදා ඉස්කෝලේ ඉවරවෙලා මම වයලට් හම්බවෙන්න අරේන්ජ් කරලා තියෙන්නේ… ගෑනී හඳුනාගන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ - අවුරුදු පහලවකින් විතර දැකලා නෑ”

“සාරියේ අයිස් ක්රීම් හලාගෙන ඉන්න කෙනෙක්…”

………………………………

“ප්රින්සිපල්ගෙන් කිසි සපෝට් එකක් නෑ…”

“ඒ කිව්වේ?”

“මට පෙත්සම පෙන්නුවෙත් නෑ ලිව්වේ කවුද කියලා කිව්වෙත් නෑ. ඕනම ළමයෙක් වැරැද්දක් කළොත් දඬුවමට වගකියන්න ඕන ප්රින්සිපල් - පංති ගුරුවරී හැටියට මට අයිතියක් නැතිලු ඒ අතින්”

කමලා ගෙදර ආපු වහාම වයලට්ගේ පුතා ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කිරීම ගැන වාර්තා කළා. වයලට් සමග ටවුමෙන් තේ බීපු නිසා ගෙදර තේ නොබීම කතාව පටන්ගත්තේ ඉතා කනගාටුවෙන් බව ඇගේ මුහුණින් පෙනුනා.

“එක අතකින් ඒකේ ඇත්තක් තියෙනවා නේද කමලා? ගත්තේ වැරදි තීරණයක් නම් එයා රෙස්පොන්සිබල් - ඔයාට කරදරයක් නෑ!”

“නමුත් ඒ ළමයට වෙන අපරාදේ?”

“ඒක ඇත්ත - කොල්ලා වැරැද්දක් කරලා නැත්නම්…”

“මට හොඳටම ශුවර් ප්රබාත් නොට් ගිල්ටි කියලා… නමුත් ඇත්ත නැත්ත හොයන්නේ කොහොමද පෙතසමේ විස්තර නොදැන?”

මම ටිකක් කල්පනා කළා. නිලංතයි සිරිනියි නිහඬයි - ප්රශ්නේ බරපතලකම තේරිලා වගේ.

“ඔයාගෙ යාළුවා වයලට් මොකද කියන්නේ?”

“ප්රින්සිපල් ප්රබාත් අතේම ලියුමක් එවලා තියෙනවා සති තුනකට පාසැල් ගමන අත්හිටවන්න තීරණයක් ගත්තේ දුම් බීම සම්බන්ධ පෙත්සමක් නිසා කියලා. පහුවදා ඇවිත් ප්රින්සිපල් මුනගැහෙන්න කියලා”

“කොල්ලා මොකද කියන්නේ?”

“වයලට් කියන හැටියට ප්රබාත් කිසිම දෙයක් දන්නෙ නැතිලු - ප්රින්සිපල් එයාට කිව්වේ ගෙදර ගිය වහාම ලියුම දෙමව්පියන්ට දෙන්න කියලා විතරලු”

නිලංත පළවෙනි සැරේට කතාකරා.

“සස්පෙන්ඩ් කරා කියලා දැනගත්තේ ගෙදරට ලියුම ගිහින් දුන්නට පස්සේනම්, ඇයි ලියුම නැතිවුනා කියලා ඉස්කෝලේ නොයන්නේ? මම නම් කරන්නේ ඒක”

“වයලට් ප්රින්සිපල් හම්බවුනාද?”

“ඔවු. ඊයේ. ඊට පස්සේ තමා මට කෝල් කරේ…”

අපි සද්ද නැතුව කල්පනා කළා. මට හොඳටම විශ්වාසයි අපි හතරදෙනා ප්රශ්නේ දැක්කේ හතර විදිහකට බව. කමලා ඉන්නේ කනගාටුවෙන්; තම සිසුවා වගේම ඔහුගේ මව ගැන හිතලා. නිලංත හිතුවේ විදුහල්පතිගෙ හැසිරීම වැරදියි; ඒ නිසා එයින් ගැලවෙන මාර්ගය ප්රින්සිපල්ගෙ වැරැද්ද් ඉස්මතු කරන එකක් - සරසවි සිවුවෙකුගෙ විසඳුමක්! සිරිනී හිතුවේ පාසැලේ නීති පද්දතියම වැරැදියි කියලා. ඒ වගේම වරදේ වත් දඬුවමේවත් දීර්ඝ කාලින විපාක සුළු බවයි සිරිනී දැක්කේ. මගෙ හිතට ආවේ කමලගෙ අසහනය අවම කරන ක්රම මිස වයලට් සහ ප්රබාත්ගේ ප්රශ්නය ගැන නොවෙයි.

අපි හතර දෙනාටම පිළිගත හැකි පිළිතුරක් ආවේ සිරිනිගෙන්.

“ඇයි ලොකුඅත්තට කතා කරලා බලන්නෙ නැත්තේ?”

“ලොකුඅත්තා මොකක් කරන්නද?”

“ලොකුඅත්තා දන්නවා ඉස්කෝල ගැනයි විනය ගැනයි… ප්රින්සිපල් කෙනෙකුගෙ හිත දුවන හැටියි!”

“මොකද කමලා කියන්නේ?”

“මාමා කියන්නේ මොකද කියලා අහලා බලමුද? හැබැයි වැඩිය කරදර කරන්න එපා - මේක මාමගෙ ප්රශ්නයක් නෙවෙයි නේ”

“ඉස්කෝල්ලේ ළමයෙකුගෙ ඕනෑම ප්රශ්නයක් මාමගෙ ප්රශ්නයක්!”

මම මාමට වහාම කතා කරලා කමලගෙ ප්රශ්නේ ගැන කිව්වා. මට ලැබුන උත්තරේ කෙටියි.

“පුතා… හවසට මගෙ මොලේ වැඩකරනවා අඩුයි … ටිකක් හිතලා බලලා හෙට උත්තරයක් දුන්නොත් ඇතිද? ඒ කියන්නේ උත්තරයක් ඔළුවට ආවොත්!”

………………………………

මාමගෙ ඔළුවට උත්තරයක් නම් ආවා, නමුත් මම හිතපු විදිහේ එකක් නෙවෙයි.

මම බලාපොරොත්තුවුනේ වයලට්ගෙ පුතාට විරුද්ධ පෙත්සමේ ඇත්ත නැත්ත සොයන මාර්ගයක් ඇතළත් උත්තරයක්; සමහරවිට පෙත්සමක් ලිවීමේ අභිචේතනය කුමක්දැයි සොයාගැනීමත් ඇතුළත්. නමුත් මාමගෙ අවවාදය වුනේ “කොල්ලට කියන්ට ගිහින් ප්රින්සිපල්ට කතා කරන්ට කියලා. මෙසේජ් එක - වැරැද්දක් කරේ නෑ - ඉස්කෝලේ එන්ට ඕනෑ”.

මාමගෙ විසඳුම ගැන වැඩි විශ්වාසයක් නැතිවුනත් කමලා වහාම වයලට්ට ක්රමය පැහැදිලි කළේ මාමට ඇති ගෞරවය නිසාමයි. මටත් හිතාගන්න බෑ කොහොමද දහය වසරේ කොල්ලෙක් ප්රින්සිපල් එක්ක ඵලදායී සාකච්ඡාවකට සහභාගි වෙන්නේ කියලා. මට තාම මතකයි දහයේ පංතියේ මම අපෙ ප්රින්සිපල්ට හරිම බයයි.

නමුත් අද කමලා ඉස්කෝලේ ඇරිලා ගෙදර අවේ පසුගිය දවස් දෙකට වඩා සතුටින්. ඇගේ පළමු වචන කීපෙන් පැහැදිලිවුනා සතුටට හේතුව.

“ප්රබාත් අද පංතියට ආවා!”

කමලගෙ කතාව පටන්ගන්න ඉස්සර මම තේ හැදුවා. අදත් නිලංත පරක්කු නිසා තේ බොන්න හිටියේ අපි දෙන්නයි සිරිනියි විතරයි.

“අද මොකද වුනේ?”

“අද ඉස්කෝලේ පටන්ගන්නත් ඉස්සර වයලට් මට කෝල් කරා. එයා ඇහුවේ ප්රින්සිපල් හම්බවෙන්න එයත් ආවොත් හොඳයි නේද කියලා. මම කිව්වා ප්රබාත් තනියම ගියොත් වඩා හොඳයි කියලා. ආයෙ මම කිව්වා ප්රබාත් එන වෙලාව කිව්වොත් මම ප්රින්සිපල්ගෙ ඔෆිස් එක කිට්ටුව ඉන්නම්, ලොකු කරදරයක් වුනොත් කොල්ලා ප්රොටෙක්ට් කරන්න නමුත් ඒ බව ප්රබාත්ට කියන්න එපා. මං හිතුවේ මාමා කියපු විදිහට කොල්ලටම ප්රින්සිපල් එක්ක කතාව බාරදෙන්න”

“මීටිම විනාඩි විස්සක් විතර තිබුනා. මං හිතුවේ ‘විනාඩි පහයි - කොල්ලා ගෙදර’ කියලා. ඉන්ටවල් වෙලාවේ ප්රබාත් පංතියට ආවා. මම වයලට්ට ෆෝන් කරලා ඒක කියලා ඔෆිස් එකේ වුන දේ ප්රබාත්ගෙන් අහගත්තා”

කමලා තේ උගුරක් බීලා ආයෙත් කතාව පටන්ගත්තා.

“ප්රබාත් කියපු විදිහට, එයා ප්රින්සිපල්ට කිව්වේ එකම දෙයයි - ‘සර්… අම්මා කිව්වා මම ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කරලා සති තුනකට - හේතුව මම සිගරට් බිව්ව නිසා කියලා. සර්… මම කවදාවත් සිගරට් බීලා නෑ - මට ඉස්කෝලේ එන්න ඕනෑ!’. නරක නෑ කොල්ලගෙ කතාව - මුළු කතාවම වාක්ය දෙකකින් කවර් කරලා. ප්රින්සිපල් හුඟාක් දේ කිව්වලු, පාසැල් විනය, දුම් බීමේ ආදිනව… වගේ දේ. නමුත් ප්රබාත් එයාගෙ වචන වෙනස් කරලා නෑ - කතා කරන්න ලැබුනු හැම අවස්ථාවෙම කිව්වේ ඒකමයි”

“විනාඩි පහලවකට විතර පස්සේ ප්රින්සිපල් කිසි දෙයක් නොකියා ප්රබාත් දිහා බලාගෙන හිටියලු; කොල්ලත් කෙලින්ම ප්රින්සිපල් දිහා බලාගෙන ඉඳලා! ඊට ටිකකට පස්සේ කියලා තියෙනවා ‘අම්මට කියන්න ආයෙත් ඉස්කෝලේ එන්න පුළුවන් කියලා’ . කොල්ලා ‘තැන්ක්යූ සර්’ කියලා ඔෆිස් එකෙන් එලියට ඇවිල්ලා”

සිරිනී අප්පුඩි ගහුවේ “වෙල් ඩන් කොල්ලා!” කියමින්. මම ‘වෙල් ඩන්’ කිව්වේ කමලට - මේ ළමයගෙ ප්රශ්නේ විසඳන්න මහන්සි වීම ගැන. කමලා දැක්කේ වෙන පැත්තක්.

“මාමටයි ‘වෙල් ඩන්’ කියන්න ඕන… හැබැයි මට තවම තේරෙන්නෙ නෑ ඇයි ඒ ක්රමය වැඩ කරේ කියලා… මාමා කිව්වේ ‘වැරැද්දක් කරේ නෑ - ඉස්කෝලේ එන්න ඕනෑ’ විතරයි… මොකද්ද ඒකේ තියෙන බලය?”

“මම කිව්වනෙ අම්මා ලොකුඅත්තා දන්නවා මොකද කරන්න ඕන කියලා. ඒ කියන්නේ සේරම මටයි ‘වෙල් ඩන්’ කියන්න ඕන… මම හරිම දක්ෂයි නේ?”

“ඔවු ඔවු… උඹ දක්ෂයි… ඒ වගේම නිරහංකාරයි! මම මාමට කියන්න ඕනෑ එයාගෙ උපදෙස් වැඩකරා කියලා. එතකොට අහගන්න පුළුවන් කොහොමද වැඩකරේ කියලා”

……………………………..

“හා මාමා… මම මේ කෝල් කරේ අර කමලගෙ පංතියේ කොල්ලගෙ ප්රශ්නේ ගැන කියන්නත් එක්ක…”

“කොල්ලා ගියාද ප්රින්සිපල් හම්බවෙන්න?”

“ඔව් --- අද උදේ”

“ඉතින්?”

“දැන් ආයෙත් පංතියට එනවා”

“ගුඩ්!”

පොඩි නිහඬතාවයක්.

“මාමා… මාමා කොල්ලට කියල දීපු මාර්ගය මං බලාපොරොත්තු වුන එකක් නෙවෙයි!”

“මොනවද පුතා බලාපොරොත්තු වුනේ?”

“හරියටම දන්නෙ නෑ… නමුත් කොල්ලා සිගරට් බිව්වේ නෑ කියලා ඔප්පු කරන ක්රමයක්… පෙත්සම ලියපු අයගෙන් ප්රශ්න අහලා ඇත්ත දැනගන්න… දෙපාර්තමේන්තු නීති හැටියට දඬුවම සැර වැඩිද නැද්ද… අන්න ඒ වගේ ක්රමයක්…”

“පුතා කියන්නේ කොල්ලා ඔප්පු කරන්ට ඕනෑ ඌ සිගරට් බිව්වෙ නෑ කියලා? ඒක වැරදියි නේද?”

“ඒක තමා සිරිනිත් කිව්වේ!”

“අපෙ කෙල්ල දක්ෂයි! මට හිතුනේ කොල්ලට කිසිම අවශ්යතාවයක් නෑ සිගරට් බිව්වෙ නෑ කියලා ඔප්පු කරන්ට - යමක් ඔප්පු කරන්ට ඕන නම් සිගරට් බිව්වා කියලයි ඔප්පු කරන්ට ඕනෑ - ඒක ප්රින්සිපල්ගෙ වැඩක්”

“එතකොට මාමගෙ ‘මම සිගරට් බිව්වෙ නෑ - පංති එන්න ඕනෑ’ කිව්වම ඇයි ප්රින්සිපල් ඒකට එකඟ වුනේ? ඒක මට විතරක් නෙවෙයි කමලටත් දැන්ගන්න ඕන දෙයක්”

ඒ සැරේ මාමා තප්පර කීපයක් නිහඬයි - වචන හරියට පෙලගස්සනවා වගේ.

“පුතා කිව්වා නේද දෙපාර්තමේන්තු නීති, එතකොට පෙත්සම ලියපු අය ගැන එහෙම. ඒවා මෙතෙන්ට පොඩ්ඩක්වත් අදාල නෑ…. අපි හිතමු ප්රින්සිපල් නීතිය කඩකරා කියලා… ඒක කොල්ලට වැදගත් නෑ. කොල්ලා බලන්නේ නඩු දාන්ට නෙවෙයි! පෙත්සම් ලියපු අයත් කොල්ලට වැදගත් නෑ. වැදගත් එකම දේ… ආපහු ඉස්කෝලේ යෑම. ඒකයි සපුරන්ට ඕන එකම අවශ්යතාවය…. දැනට පංති යන්ට බැරි ඇයි? සිගරට් බීපු කතාව. ඒ නිසා කෙලින්ම කියනවා සිගරට් බිව්වෙ නෑ කියලා… එතකොට පංති යෑමට තියෙන එකම බාධකය ඉවත් වෙනවා…”

“හැබැයි මාමා බාධකය ඉවත් වෙන්නේ ප්රින්සිපල් කොල්ලගෙ කතාව විශ්වාස කළොත් විතරයි නේද?”

“ප්රින්සිපල් හිතන පතන විදිහත් කොල්ලට වැදගත් නෑ… එහෙම අදහස් අපිම මවාගන්න ඒවා, තවත් අපෙ වැඩේ සංකීර්ණ කරගන්ට. අපෙ මන්තරේ ‘මම සිගරට් බිව්වෙ නෑ - ඉස්කෝලේ යන්ට ඕනෑ’ විතරයි. ඉන් පිටස්තර දේ වෙන කාගෙවත් ප්රශ්න!”

මාමගෙ කටහඬ ටිකක් මෘදු වුනා.

“පුතා හිත නරක් කරගන්ට එපා ප්රශ්නේ හිතුවට වඩා ලේසිවුනා කියලා … ගුරුවරු, ප්රින්සිපල්වරු එහෙමත් අනික් මිනිස්සු වගේම වැරදි කරනවා - එකම වෙනස ඒ අය කරපු වැරැද්දක් වෙන කෙනෙක් පිටින් දාලා සුදනා වෙන්ට බලනවා අඩුයි. ඒක ගුරු පුහුණුවෙන් එන දෙයක්. ගුරුන්ගෙ වැරදි හොයන්න දක්ෂම අය ශිෂ්යයෝ - කරන ඕනම වැරැද්දක් ඉක්මනටම අහුවෙනවා. ඒ කියන්නේ, වැරදි හංගනවට වැඩිය ලේසියි ඒව හරිගස්සන එක!”

මට හිනාවක් ආවා.

“අපෙ සිරිනී කෙල්ල හරි. එයා තමා කිව්වේ ඇයි ලොකුඅත්තගෙන් අහන්නෙ නැත්තේ ඇයි කියලා!”

ඒ සැරේ මාමත් හිනාවුනා.

“මම තැන්ක්යූ කිව්ව කියන්ට… හැබැයි කියන්ට එපා ඔය උත්තරේ සොයාගන්න අප්පුහාමී කියලා කෙනෙක් උදව්වුනා කියලා - මිනිහා ඊයේ රෑවෙලා උඩහ වෙල ලඟදී මට හම්බවුනා… කිව්වේ එකම දෙයයි ‘අදාල නැති දේ අයින් කරපුවම ප්රශ්න වලට උත්තර සොයන එක අමාරු නෑ!’”